





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ‘අල්ලාහ් වෙත වඩාත් ප්රියමනාප ක්රියාව කුමක් දැ?’යි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසුවෙමි. එතුමාණෝ: ‘සලාතය නියමිත වේලාවේ ඉටු කිරීම වේ’ යැයි පැවසූහ. ‘ඉන්පසු කුමක්දැ?’යි විමසුවෙමි. එතුමාණෝ: ‘දෙමව්පියන්ට උපකාර උවටැන් කිරීම’ යැයි පැවසූහ. ඉන්පසු කුමක්දැ?යි විමසුවෙමි. එතුමාණෝ: ‘අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම’ යැයි පැවසූහ. මේවා මට එතුමාණෝ පවසා සිටි අතර මම වැඩි යමක් විමසා තිබුණේ නම් එතුමාණන් මට වැඩි යමක් දන්වා සිටින්නට තිබුණි.
متفق عليهඅල්ලාහ් වෙත වඩාත් ප්රිය මනාප ක්රියාව කුමක් දැ?’යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: ‘අල්ලාහ් නියම කර ඇති වේලාවන්හි අනිවාර්යය කරන ලද සලාත් ඉටු කිරීම වේ’ යැයි පැවසූහ. 'පසුව, දෙමව්පියන්ට උපකාර කිරීම, ඔවුනට උවටැන් කිරීම, ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම, ඔවුනට හිංසා පීඩා නොකිරීම ’ යැයි පැවසූහ. සර්ව බලධාරී අල්ලාහ්ගේ වචනය උසස් කරවනු පිණිසත් ඉස්ලාම් ආගම හා එහි වැසියන් ආරක්ෂා කරනු පිණිසත් එහි අනන්යතාව ඉස්මතු කරනු පිණිසත් අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ය. එය ජීවිත හා ධනය කැප කිරීමෙන් සිදු කරන්නකි. මෙම ක්රියාවන් ගැන මට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටියේය. වැඩි දුරටත් මම එතුමාණන්ගෙන් විමසා තිබුණේ නම් මට ඊට වඩා වැඩි යමක් එතුමාණන් විසින් පවසන්නට තිබුණි යැයි ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා පවසා සිටියේය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්: “අහෝ දෙවිඳුනි! පිං සඳහා වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් තැනැත්තා: “අහෝ දෙවිඳුනි! එය රඳා තබා ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි.
متفق عليهහිරු උදාවන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් මෙසේ පවසයි: අහෝ දෙවිඳුනි! ඔබට අවනත වන කටයුතු වලදී ද, තම පවුලට, ආගන්තුකයන්ට අමතර කටයුතු සඳහා ද වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව! ඔහු වියදම් කළ දෑ යහපතක් බවට පෙරළා දෙනු මැනව! එහි සමෘද්ධිය ඇති කරනු මැනව! යැයි පවසයි. අනෙක් තැනැත්තා: අහෝ දෙවිඳුනි! රැස් කරන්නාට විනාශය ඇති කරනු මැනව! ඔහුගේ වගකීම් ඉටු නොකර හිඳ, එය ලැබිය යුතු අයගෙන් වලක්වාගත් ඔහුගේ ධනය විනාශ කරනු මැනව යැයි පවසයි.
හුසෙයින් ඉබ්නු අබ්දුර් රහ්මාන් තුමා විසින් වාර්තා කරන ලදී. මම සඊද් ඉබ්නු ජුබෙයිර් සමග සිටියෙමි. එවිට ඔහු: “පෙර දින කඩා වැටුණු තරුව ඔබ අතරින් දුටුවේ කවුරුන්දැ?යි විමසුවේය. එවිට මම: ‘මම’ යැයි පැවසුවෙමි. පසුව මම: ‘සැබැවින්ම මම සලාතයේ නොසිටියෙම් ද? එනමුත් මම දෂ්ඨ කරනු ලැබුවෙමි.” යැයි පැවසුවෙමි. ඔහු ‘එසේ නම් ඔබ කුමක් කළෙහිද?’ යැයි විමසීය. ‘මම ආරක්ෂාව පැතුවෙමි’ යැයි පැවසුවෙමි. ඔහු: ‘ඒ සඳහා ඔබට තුඩු දුන්නේ කමක් ද?’ යැයි විමසීය. මම: ‘අෂ්-ෂුඃබී තුමා අපට දන්වා සිටි හදීසයකි’ යැයි පැවසුවෙමි. ඔහු: ‘ඔහු නුඹලාට කුමක් පැවසුවේද?’ යැයි විමසීය. මම: ‘බුරෙයිදා ඉබ්නු හුසෙයිබ් තුමා විසින් වාර්තා කළ හදීසක් අප වෙත දන්වා සිටියේය. සැබැවින්ම හෙතෙම: ‘ඇස්වහ හෝ (ගෝනුස්සෙකු වැනි සතකු කරන) දෂ්ඨ කිරීමෙන් මිස ආරක්ෂාවක් නැත’ යැයි පැවසීය. ඔහු: ‘ඔහු සවන් දුන් දෑ අවසානය දක්වාම හොඳින් කර ඇත. නමුත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයක් ඉබ්නු අබ්බාස් තුමා ද අපට මෙසේ දන්වා සිටියේය. “මා වෙත සමූහයන් ඉදිරිපත් කරනු ලැබීය.” එවිට නබි තුමාණන් සමග කණ්ඩායමක් ද, නබි තුමාණන් සමග පුද්ගලයකු හෝ දෙදෙනකු ද, නබි තුමාණන් සමග කිසිවකු නොමැතිව මම එතුමාණන්ව දුටුවෙමි. මහත් ජනකායක් මා වෙනුවෙන් ඔසවනු ලැබූ විට සැබැවින්ම ඔවුන් මාගේ සමූහයා වෙතැයි සිතුවෙමි. නමුත් මට මෙසේ පවසනු ලැබීය. “මේ මූසා හා ඔහුගේ සමූහයාය.” පසුව මම අධීක්ෂණයෙන් බැලුවෙමි. තවත් අතිමහත් ජනකායක් විය. එවිට ‘මෙය ඔබේ සමූහයා වෙතැ’යි පවසනු ලැබීය. ඔවුන් සමග හැත්තෑ දහසක් දෙනා සිටියහ. කිසිදු විනිශ්චයකින් හෝ දඬුවමකින් තොරව ඔවුහු ස්වර්ගයට පිවිසෙති. පසුව මම නැගිට ඔහුගේ වාසස්ථානයට පිවිසුණේය. එවිට ජනයා ද ඔවුන් අතරට පිවිසුණෝය. එවිට ඔවුන්ගෙන් ඇතැමෙක්: ‘ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් සමග මිත්රවූවන් වන්නට පුළුවණැ’යි පැවසීය. තවත් ඇතැමුන් ‘ඔවුන් ඉස්ලාමය තුළ ඉපද අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකළ; කරුණු මෙනෙහි කළවුන් වන්නට පුළුවනැ’යි පැවසීය. පසුව ඔවුන් අතරට අල්ලාහ්ගේ දූතයාණන් පැමිණියේය. පසුව ඔවුහු එතුමාට ඒ ගැන දන්වා සිටියෝය. එවිට එතුමා: “ඔවුන් වනාහි, (අල්ලාහ් හැර කිසිවකුගෙන්) ආරක්ෂාව නොපතන උදව් නොපතන අසුභවාදය නොසලකන; ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරන උදවිය වෙති.” යැයි පැවසූහ. එවිට උකාෂා ඉබ්නු මිහ්සන් නැගී සිට: ‘ඔවුන් අතරට මාද පත් කරන මෙන් ඔබ අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන්න’ යැයි පැවසීය. එතුමා: ‘ඔබද ඔවුන් අතරින් කෙනෙකි’ යැයි පැවසීය. පසුව තවත් මිනිසකු නැගී සිට මා ද ඔවුන් අතරට පත් කරන මෙන් අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන මෙන් පැවසීය. පසුව එතුමා “උකාෂා ඒ සඳහා පෙරටු විය” යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහුසෙයින් ඉබ්නු අබ්දුර් රහ්මාන් -රහිමහුල්ලාහ්- තුමා විසින් එතුමා අතර හා සඊද් ඉබ්නු ජුබෙයිර් -රහිමහුල්ලාහ්- අතර ආරක්ෂාව පැතීම හා සම්බන්ධව සිදු වූ දෙබසක් ගැන මෙසේ අපට දන්වා සිටියේය. එනම් සැබැවින්ම ගෝනුස්සෙක් හුසෙයින් තුමාව දෂ්ට කළේය. ආගමානුගත ආරක්ෂාවන් තුළින් එයින් ආරක්ෂාව පැතූහ. ඒ සඳහා වූ සාධක ගැන සඊද් තුමාගෙන් විමසා සිටි කල්හි ඇස්වහ සහ විෂවලින් ආරක්ෂාව පැතීමට අනුමත කෙරුණු අෂ්-ෂුඋබි තුමාගේ හදීසය ඔහුට දන්වා සිටියේය. එවිට සඊද් ඒ සඳහා ප්රශංසා කරන්නට විය. කෙසේ වෙතත් ආරක්ෂාව පැතීම අත්හැරීමට අනුග්රහය දක්වන හදීසයක් පසුව ඔහුට දන්වා සිටියේය. එය කිසිදු විනිශ්චයකින් තොරව කිසිදු දඬුවමකින් තොරව ස්වර්ගය උරුම කර දෙන බවට වර්ණනා කළ ගුණාංග හතරක් ඇතුළත් ඉබ්නු අබ්බාස් තුමාගේ හදීසයයි. එනම්, (අල්ලාහ් හැර වෙනත් අයගෙන්) ආරක්ෂාව පැතීමෙන් තොර වීම, උදව් පැතීමෙන් තොර වීම, සුභවාදය ගැන සැලකිලිමත් වීමෙන් තොර වීම හා අල්ලාහ් මත තබන ස්ථාවරත්වයේ සත්යයභාවය යන ගුණාංග හතරය. උකාෂා තුමා තමන්ද ඔවුන් අතරින් කෙනෙකු වීමට ප්රාර්ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ඉල්ලා සිටි විට, සැබැවින්ම ඔහු ඔවුන් සමග වූ කෙනෙකු බව එතුමා ඔහුට දන්වා සිටියේය. තවත් පුද්ගලයකු ඒ අරමුණ සඳහාම එසේ නැගී සිටි කල්හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා උක්ත කරුණ ඉන් අවසන් කිරීමට හා ඒ අනුපිළිවෙල විසන්ධි කිරීමට ඔහු සඳහා ප්රාර්ථනා නොකර ඔහු සමග කාරුණිකව කටයුතු කළහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. කයිබර් දින: “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි ප්රිය කරන, එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ද ඔහු කෙරෙහි ප්රිය කරන පුද්ගලයකුට හෙට දින ධජය පිරිනමමි. ඔහුගේ අතින් අල්ලාහ් ජය ලබා දෙනු ඇත.” යැයි පැවසූහ. පසුව ජනයා ඔවුන් අතර එය කවරෙකුට පිරිනමනු ලබනු ඇත්දැ?යි අපේක්ෂාවෙන් ඔවුන්ගේ රාත්රිය ගත කළෝය. අළුයම උදා වූ කල්හි උදෑසනම තමන්ට එය පිරිනමනු ඇතැයි යන අපේක්ෂාවෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගියෝය. පසුව එතුමා: "අබූ තාලිබ්ගේ පුත් අලී කොහේදැ?"යි විමසූහ. එවිට ඔහු ඇස් අමාරුවෙන් පසුවන බව ප්රකාශ කරන ලදී. පසුව එතුමාණෝ ඔහු වෙත පිරිසක් යවා, ඔහුව ගෙන්වා ගෙන, ඔහුගේ දෑසට කෙළ තැවරූහ. ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කළහ. වේදනාවක් ඇති නොවූවාක් මෙන් ඔහු සුව අතට පත් විය. පසු ව ඔහුට ධජය පිරිනැමූහ. එවිට අලී තුමා, "අල්ලාහ්ගේ දූතයාණනි! අප මෙන් ඔවුන් ද පත්වන තුරු මම ඔවුන් සමග සටන් කරමි" යැයි පැවසීය. එවිට එතුමාණෝ, "ඔවුන්ගේ වැලිකතරට ගොඩ බසින තෙක් ඔබ සන්සුන්ව ගමන් කරන්න. පසුව ඔවුන්ව ඉස්ලාමය වෙත ඇරයුම් කරන්න. අල්ලාහ්ගේ විෂයයෙහි ඔවුනට අනිවාර්යය වන දෑ ඔවුනට දන්වා සිටින්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ තුළින් එක් මිනිසෙකුට අල්ලාහ් මඟ පෙන්වන්නේ නම් එය රතු ඔටුවන් ලැබීමට වඩා ඔබට උතුම් වන්නේය” යැයි පැවසූහ.
متفق عليهහෙට දින කයිබර් හි යුදෙව්වන්ට එරෙහිව මුස්ලිම්වරු ජය අත්පත් කර ගන්නා බවත්, එය ධජය පිරිනැමෙන පුද්ගලයාගේ අතින් සිදුවන්නක් බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සහාබාවරුන්ට දන්වා සිටියහ. එය ලාංඡනයක් ලෙස භට පිරිස් විසින් භාවිතා කරන කොඩිය වේ. එම පුද්ගලයාගේ ගුණාංග පිළිබඳ පවසා සිටිය දී, ඔහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ප්රිය කරන්නෙකි. එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ද ඔහුව ප්රිය කරන අයෙකි. එම මහඟු ගරුත්වය අපේක්ෂාවෙන් යුතුව, එම ධජය කවරෙකු වෙත පිරිනමනු ලබනු ඇත්දැ?යි වාද විවාද කරමින් සහාබාවරු ඔවුන්ගේ රාත්රිය ගත කළහ. අළුයම උදා වූ කල්හි, ඔවුහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගියහ. එම ගරුත්වය තුළින් තමන් ජය ලැබීම ගැන ඔවුන් සැවොම අපේක්ෂා කළෝය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා පිළිබඳ විමසා සිටියහ. එවිට සැබැවින්ම එතුමා ඇස් අමාරුවෙන් පෙළෙන බව පවසන ලදී. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාණන් වෙත පිරිසක් යැවූ අතර එතුමාව කැටුවා ගෙන එන ලදී. පසුව එතුමාණෝ තම ගෞරවණීය කෙළ ගෙන අලී තුමාගේ දෑස් මත තවරා ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කළහ. පසුව ඔහුගේ රෝගීභාවය සුව අතට පත් විය. කිසිදු වේදනාවකින් නොපෙළුණු අයකු මෙන් ඔහු පත් විය. පසුව ධජය එතුමාට භාර දුන්හ. සතුරු බලකොටුව වෙත සමීප වන තෙක් සැහැල්ලුවෙන් ගමන් කරන මෙන් ද ඉස්ලාමය තුළට පිවිසෙන මෙන් ඔවුනට ඇරයුම් කරන මෙන් ද, ඔවුන් එසේ තමන්ට පිළිතුරු දුන්නේ නම්, ඔවුන් වෙත අනිවාර්යය වන යුතුකම් පිළිබඳ ඔවුනට දන්වා සිටින මෙන් ද එතුමාණෝ ඔහුට නියෝග කළහ. පසු ව අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ මහිමය ගැන සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අලී තුමාට පැහැදිළි කර සිටියහ. ඇරයුම් කරන්නා එක් මිනිසෙක් යහමග ලබන්නට හේතු වූයේ නම්, එය අරාබිවරුන්ගේ වටිනා සම්පතක් වූ රතු ඔටුවන් හිමි කර ගැනීමට හෝ එය දන් දීමට වඩා උතුම් බව දන්වා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සෙයිද් ඉබ්නු කාලිද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකු සූදානම් කර යැව්වේද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ පවුල (ඔහු නොමැති විටක) යහ අයුරින් රැකබලා ගන්නේ ද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය."
متفق عليهකවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුට අවශ්ය ගමන් පහසුකම් මෙන්ම ඔහුට අවශ්ය ආයුධ, ප්රවාහන පහසුකම්, ආහාර, වියහියදම් හා එවැනි අවශ්යතා සපුරා දුන්නේද ඔහු ද රණ ශූරයකුගේ නිලයට පත් වන්නේය. යුද්ධයේ ප්රතිඵල ඔහු ද ලබනු ඇත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ කටයුතු භාරගෙන ඔහු වෙනුවට ඔහු නොමැති කාලය තුළ ඔහුගේ පවුල රැකබලා ගත්තේ ද සැබැවින්ම ඔහු ද රණ ශූරයාගේ නිලයෙහි සිටිනු ඇත.
අම්ර් බින් යහ්යා අල්-මාසිනී (රහිමහුල්ලාහ්) විසින් වාර්තා කරන ලදී. “මම අම්ර් බින් අබිල් හසන් තුමා ව මුණ ගැසුණෙමි. එතුමා අබ්දුල්ලාහ් බින් සෙයිද් තුමාණන්ගෙන් අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරු පිළිබඳ ව විමසූවේය. පසු ව කුඩා ජල බඳුනක් ගෙන්වා ගෙන අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරින් ඔවුනට ඔහු වුළු ධෝවනය කර පෙන්වීය. ඔහු කුඩා බඳුන ඇල කර තම දෝතට ජලය වක්කර තම දෙඅත් තුන්වරක් සෝදා ගත්තේය. පසු ව කුඩා බඳුන තුළට දෙ අත් දමා දෝතින් තුන්වරක් ජලය ගෙන කට කලත්වා සෝදා පසුව නාසයට ජලය යාමට සලස්වා පිරිසිදු කර ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා තම මුහුණ ද තුන්වරක් සෝදා ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා දෙඅත් වැළමිට දක්වා දෙවරක් සෝදා ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා එයින් තම හිස පිරිමැද්දේය. එක් වරක් දෑත් ඉදිරියෙන් ආරම්භ කර පසුපසට ගෙන ගියේය. පසු ව දෙපා වළලු කර දක්වා සෝදා ගත්තේය.”
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වුළූ කළ ආකාරය අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හු) තුමා ප්රයෝගික ක්රියාකාරකම් හරහා පැහැදිලි කළේය. එතුමා කුඩා වතුර බඳුනක් ඉල්ලා සිටියේය. පළමුව ඔහුගේ අත් දෙක සෝදමින් ආරම්භ කළේය. ඔහු කුඩා බඳුන ඇල කර තම දෝතට ජලය වක්කර ඒ දෙක බඳුනට පිටතින් තුන්වරක් සෝදා ගත්තේය. පසු ව බඳුන තුළට දෙ අත් දමා දෝතින් තුන්වරක් ජලය ගෙන සෑම අහුරකින්ම කට කලත්වා සෝදා පසුව නාසයට ජලය යාමට සලස්වා පිරිසිදු කර ගත්තේය. පසු ව බඳුනින් ජලය අහුරා ගෙන තම මුහුණ ද තුන්වරක් සෝදා ගත්තේය. පසු ව ඉන් අහුරා ගෙන තම දෑත වැළමිට දක්වා දෙවරක් බැගින් සෝදා ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා එයින් තම හිස පිරිමැද්දේය. එක් වරක් දෑත් ඉදිරි හිසෙන් ආරම්භ කර පසුපස ගෙල දක්වා ගෙන ගොස් නැවතත් ආරම්භ කළ ස්ථානය දක්වා ගෙන ආවේය. පසු ව දෙපා වළලු කර සමග සෝදා ගත්තේය.
ඉබ්නු ෂමාසා අල් මිහ්රී විසින් වාර්තා කරන ලදී. අපි අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා හමුවට ගියෙමු. එතුමා මරණාසන්නයේ පසුවීය. දිගු වේලාවක් එතුමා හැඩීය. එතුමාගේ මුහුණ බිත්තිය දෙසට හරවා ගත්තේය. පසුව එතුමාගේ පුත්: අහෝ පියාණනි! අල්ලාහ්ගේ දූතයාණන් ඔබට මේ ගැන ශුභාරංචි දන්වා නොමැත්තේ ද? අහෝ පියාණනි! අල්ලාහ්ගේ දූතයාණන් ඔබට මේ ගැන ශුභාරංචි දන්වා නොමැත්තේ ද? යැයි විමසීය. පසුව එතුමා එතුමාගේ මුහුණ නැවත හරවා මෙසේ පැවසීය. ‘අප සැලකිය යුතු වඩාත්ම උතුම් දෑ වනුයේ ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව පවසන සාක්ෂියේ වදනයි. සැබැවින්ම මම ස්ථාවර තුනක සිටියෙමි. සැබැවින්ම මම මා ගැන සිතනුයේ, මට වඩා අල්ලාහ්ගේ දූතයාණන් කෙරෙහි බලවත් සේ කෝප වූ මෙන්ම අවස්ථාවක් ලැබුණේ නම් එතුමාව මරා දමන්නට වඩාත් ආශා කළ වෙනත් කෙනෙකු නොමැති බවයි. එම තත්ත්වයේ මම මිය ගොස් තිබුණේ නම් මම ද නිරාවාසීන් අතරින් කෙනෙකු වන්නට තිබුණි. මාගේ සිත තුළ අල්ලාහ් ඉස්ලාමය තැන්පත් කළ කල්හි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ, ‘ඔබේ දකුණත දිගු හරින්න. මම ඔබට ප්රතිඥා දෙමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා එතුමාගේ දකුණත දිගු හැරිය ද මාගේ දකුණත මා මොලවා ගත්තෙමි. එවිට එතුමා ‘අහෝ අම්ර් ඔබට කුමක් සිදුවීද?” යැයි විමසූහ. ‘කොන්දේසියක් පනවන්නට සිතමි’ යැයි පැවසුවෙමි. එතුමා: ඔබ කොන්දේසි පනවනුයේ කුමක් ගැනද? යැයි විමසූහ. මම: ‘මට සමාව දෙනු ලැබීම ගැන’ යැයි පැවසුවෙමි. එතුමා: “සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කර දමන බවත් හිජ්රත් හෙවත් නික්මයෑම, ඊට පෙර පැවැති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව, ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් ඔබ නො දන්නෙහි ද?” යැයි පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන්ට වඩා මට වඩාත් ප්රියමනාප කිසිවකු නොවීය. එතුමාට වඩා මාගේ දෑසට දැකුම්කළු කිසිවකු නොවීය. එතුමා සතු බලවත් කීර්තිය හේතුවෙන් මාගේ දෑස් එතුමාගෙන් පුරවන්නට මම අපොහොසත් වූයෙමි. එතුමා ගැන වර්ණනා කරන මෙන් මගෙන් විමසා සිටියේ නම් ඒ සඳහා මම අපොහොසත් වෙමි. ඊට හේතුව මාගේ දෑස් එතුමා ගැන ප්රමාණවත් තරමට පුරවා ගෙන නොමැති බැවිණි. එම තත්ත්වයේ මා මිය ගියේ නම් මම ස්වර්ගවාසීන් අතරින් වන්නට ප්රිය කරමි. පසුව අපට කරුණු බොහෝමයක් භාර කෙරිණි. ඒවායෙහි මාගේ තත්ත්වය ගැන මම නොදනිමි. මම මිය ගිය විට මොර හඬ දී හඬා වැළපෙන කිසිවකු මා සමග සේන්දු නොවිය යුතුයි. නුඹලා මා වළදැමූ විට මා වෙත පස් අහුරු ටික ටික දමන්න. පසුව මාගේ මිනීවල අවට ඔටුවකු කපා උගේ මස් බෙදා හරින කාලයක් මා නුඹලා සමග සම්බන්ධකම් ඇති කරන තරමට රැඳී සිටින්න. මාගේ පරමාධිපතිගේ දූතවරු කවර කරුණක් මගෙන් විමසන්නේ යැයි මම අධීක්ෂණය කරමි.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතඅම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයේ ඇතුළත්ව ඇති සිද්ධිය සුභපැතුම් හා ශුභාරංචි දැන්වීමේ මාතෘකාව යටතේ පෙළ ගැසුනු කතාවකි. මෙම මහඟු කතාවෙහි සාරාංශය නම්, සැබැවින්ම එතුමා මරණාසන්නයේ සිටියදී එතුමා හමුවට එතුමාගේ මිතුරන් කිහිප දෙන පැමිණ ඇත. එවිට එතුමා දැඩිසේ හඬන්නට විය. එතුමාගේ මුහුණ බිත්තිය දෙසට හරවා ගත්තේය. එතුමා මෙලොවෙන් වෙන් වන්නට මරණාසන්න මොහොතේ පසුවිය. එවිට එතුමාගේ පුත් එතුමාට: ‘ඔබ අඩන්නේ ඇයි? සැබැවින්ම ස්වර්ගය ඔබට හිමි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබට ශුභාරංචි දන්වා ඇත. එවිට එතුමා: මාගේ පුතණුවනි, සැබැවින්ම මම ස්ථාවර තුනක පසුවූයෙමි. පසුව එම ස්ථාවර තුන මෙනෙහි කළේය. සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කෙරෙහි දැඩි සේ කෝප වන්නෙකු විය. ඔහු එතුමා කෙරෙහි කෝප වූවා සේ කෝප වූ වෙනත් කිසිවකු මහපොළොවේ නැති තරම්ය. තමන්ට අවස්ථාවක් ලැබුණේ නම් එතුමාව මරා දමන්නට පවා ප්රිය කළේය. මෙය දේව ප්රතික්ෂේපයේ උච්චතම අවස්ථාවයි. අවසානයේ අල්ලාහ් ඔහුගේ සිත තුළට ඉස්ලාමය පහළ කළේය. පසුව හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඔබේ අත දිගු කරන්න මම ඉස්ලාමය ගැන ඔබට ප්රතිඥා දෙමි’ යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා උදාර ගතිගුණවලින් පිරී සිටි බැවින් එතුමාගේ අත දිගු කළහ. නමුත් අම්ර් අල් ආස් තම අත මොලවා ගත්තේය. එය අහංකාරයෙන් නොව එතුමා මෙනෙහි කරන්නට යන දෑ ගැන තහවුරු කර ගැනීමක් වශයෙනි. පසුව එතුමා: “ඔබට කුමක් වීදැ?යි’ විමසූහ. ඔහු අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම (ඉස්ලාමය පිළිගැනීමට) කොන්දේසියක් පනවමි. යැයි පැවසීය. එතුමා “ඔබ කොන්දේසි වශයෙන් පනවනුයේ කුමක්ද?” යැයි විමසීය. ඔහු: මීට පෙර සිදු වූ දේව ප්රතික්ෂේපයට හා පාපකම්වලට අල්ලාහ් මට සමාව පිරිනැමිය යුතුයි යන කොන්දේසියයි. ඔහුට තිබූ බලවත්ම බලාපොරොත්තුව වූයේ එයයි. එසේ අල්ලාහ් තමන්ට සමාව දිය යුතු යැයි කොන්දේසිය පැනවීය. සැබැවින්ම අල්ලාහ් ඔහු පෙර කළ දෑට කිසිවිටෙක සමාව නොදෙනු ඇතැයි ඔහු සිතුවේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සැබැවින්ම ඉස්ලාමය ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කරන බවත් හිජ්රතය ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් යන කරුණු තුන පැවසූහ. “සැබැවින්ම ඔවුන් වැළකී සිටින්නේ නම් පෙර ගිය දෑ සඳහා ඔහු ඔවුනට සමාව දෙන බවත් ඔවුන් නැවත හැරුණේ නම් මුතුන්මිත්තන්ගේ (විනාශයේ) න්යායය සිදුව ඇති බවත් දේවත්වය ප්රතික්ෂේප කළවුනට නබිවරය නුඹ පවසන්න.” යන අල් කුර්ආනයේ ඇති මූලාශය අනුව ඉස්ලාමය ඊට පෙර පැවති දෑ විනාශ කර දමනු ඇත. හිජ්රතය වනාහි, මිනිසා දේව ප්රතික්ෂේපයෙන් පිරුණු, තමන් ජීවත් වූ ප්රදේශයෙන් නික්ම ගිය විට ඊට පෙර පැවත සියලු දෑ විනාශ කර දමනු ඇත. හජ් වන්දනාව වනාහි, ඊට පෙර පැවති දෑ විනාශ කර දමයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඒ ගැන මෙසේ පවසා ඇත්තාහ. ‘කවරෙකු හජ් වන්දනාව ඉටු කර පාපී වදනක් හෝ පාපී ක්රියාවක් හෝ සිදු නොකොට නැවත හැරෙන්නේ ද ඔහු තම මව තමන්ව බිහිකළ දිනයේ තත්ත්වය හා සමානය.” පසුව රළියල්ලාහු අන්හු තුමා ප්රතිඥා දුන්නේය. මිනිසා ඔහුට ප්රිය කරන තරමටම දැඩි සේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ප්රිය කරන්නෙකු වූහ. ඔහු විෂයයෙහි නිරීක්ෂණය කිරීම සීමා කිරීමට තරම් ඔහුට නොහැකි විය. එය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කෙරෙහි වූ කීර්තිය හේතුවෙනි. හදවත් වෙනස් කරන්නාණනි. පෙර දින දැඩි කෝපයෙන් එතුමාව ඝාතනය කිරීමට ආශා කළ ඔහු දැන් එතුමාට හිමි කීර්තිය හේතුවෙන් එතුමා දෙස ඇස්කොන් ඔසවා බැලීමට හෝ එතුමාව ගුණගායනා කිරීමට හෝ අපොහොසත් වී ඇත. ඊට හේතුව එතුමාණන් හොදින් ග්රහණය කරන තරමට එතුමා ගැන ඔහු නොදැන සිටි බැවිනි. එය එතුමාණන්ට දැක්වූ ගෞරව බිය හේතුවෙන් විය. සැබැවින්ම තමන් මුල් තත්ත්වයේ මිය ගියේ නම් තමන් නිරා වාසීන් අතරට පවත්වන්නට තිබුණු බව පවසා සිටි අතරම තමන් මේ තත්ත්වයේ එනම් දෙවන තත්ත්වයේ සිටියදී මිය ගියේ නම් තමන් ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු වීමට ආශා කළ බව ද පවසා සිටියේය. එතුමාණන්ගේ ප්රවේසමේ තරම හොදින් නිරීක්ෂණය කරන්න. සැබැවින්ම තමන් පළමු තත්ත්වයේ මිය ගියේ නම් තමන් නිරාවාසීන් අතරට පත් වන බව තිරසාර ලෙස විශ්වාස කළේය. ඒ අනුව එතුමා ඒ ගැන දැඩි බියෙන් පසුවීය. තමන් මේ තත්ත්වයේ මිය ගියේ නම් මම ස්වර්ගවාසීන් අතරින් වන්නට අපේක්ෂා කළෙමි යැයි පවසා ඇත්තේය. නමුත් එතුමා මම ස්වර්ග වාසීන්ගෙන් කෙනෙක් වීමි යැයි නොපැවසුවේය. ඊට හේතුව ස්වර්ගය පිළිබඳ සාක්ෂිය වඩාත් අපහසුම කරුණක් වන බැවිණි. පසුව රළියල්ලාහු අන්හු තුමාට පාලනය නායකත්වය වැනි කරුණු බොහෝමයක භාරකාරත්වය පිරිනමන ලදී. මුආවියාගේ සටන හා බැඳුනු කතා වස්තුවෙහි සිදු වූ දෑ ද සිදු විය. එමෙන්ම අම්ර් ඉබ්නු අල් ආස් තුමා අරාබිවරුන් අතරින් වඩාත් බුද්ධිමත් හා වඩාත් නුවණැති අයකු ලෙස ප්රචලිත විය. එතුමා මෙසේ පැවසීය: මධ්යස්ථභාවයෙන් පසු මාගේ ක්රියාව ආවරණය කිරීමට කටයුතු කළ අයට බිය වෙමි යැයි පැවසීය. පසුව තමන් මිය ගිය පසුව හඬා වැළපෙන අය තමන් පසුපසු නොපැමිණිය යුතු යැයි උපදෙස් දුන්නේය. එනම් පරවියන්ගේ කෑ මොර හඩ මෙන් මිය ගිය ඇත්තන් වෙනුවෙන් මොර හඩ දී අඩන කාන්තාවන්ය. තවදුරටත් තමන්ව වළ දැමූ පසු ඔටුවෙකු කපා එහි මාංශ බෙදා හරින තරමට තමන්ගේ මිනීවල අසළ රැඳී සිටින මෙන් ද නියෝග කළේය. එය තම පරමාධිපතිගේ දූතවරු සමාලෝචනය කරන තුරුය. ඔවුහු දේහය වළ දැමූ විට ඒ වෙත පැමිණෙන මලක්වරුය. සැබැවින්ම දේහයක් වළ දැමූ විට සුර දූතවරුන් දෙදෙනෙකු පැමිණ ඔහුගේ මිනී වළ අසළ වාඩි වී ‘ඔබේ පරමාධිපති කවුද? ඔබේ දහම කුමක් ද? ඔබේ නබිවරයා කවුරුන්ද? යනාදී ප්රශ්න තුනක් ඔහුගෙන් විමසා සිටියි. පසුව අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා තම පවුලට ඔවුන් සමග ඇසුරු කිරීම පිණිස ඔටුවකු කපා එහි මාංශ බෙදා හරින්නට යන කාල ප්රමාණයක් රැදී සිටින මෙන් ද නියෝග කළේය. සැබැවින්ම මිය ගිය ඇත්තන් තම පවුල ගැන හැඟීමෙන් සිටින බව මෙය පෙන්වා දෙයි. එය තහවුරු කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ හදීසයක් මෙසේ සඳහන් වී ඇත. සැබැවින්ම මිය ගිය ඇත්තෙකු වළ දමා ගියවුන්ගේ පාවහන් තබන හඬට සවන් දෙයි. එනම් මෘත දේහය වළ දමා පැමිණෙන විට එම මෘත දේහය සිහින් පාවහන් හඬට සවන් දෙනු ඇත යන්නයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් ප්රකාශ කළ බවට හසන් තුමා වාර්තා කළ හදීසයක මෙසේ පවසා ඇත. සැබැවින්ම මියගිය ඇත්තෙකු වළ දැමූ විට ඒ අසළ එතුමා රැදී සිටියහ. “නුඹලාගේ සහෝදරයා වෙනුවෙන් පාපක්ෂමාව අයදින්න. ඔහු වෙනුවෙන් ස්ථාවරත්වය පතන්න. සැබැවින්ම දැන් ඔහුගෙන් ප්රශ්ණ කරනු ඇත.” යැයි පැවසූහ. ඒ අනුව දේහයක් වළ දැමූ විට එම මිනී වල අසල රැඳී සිට ‘අල්ලාහුම්ම සබ්බිත්හු’, ‘අල්ලාහුම්ම සබ්බිත්හු’, ‘අල්ලාහුම්ම සබ්බිත්හු’ (අහෝ අල්ලාහ් ඔහුට ස්ථාවරත්වය දෙනු මැනව!) ‘අල්ලාහුම්මග්ෆිර් ලහූ’, ‘අල්ලාහුම්මග්ෆිර් ලහූ’, ‘අල්ලාහුම්මග්ෆිර් ලහූ’ (අහෝ අල්ලාහ් ඔබ ඔහුට සමාව දෙනු මැනව!) යැයි පැවසීම සතුටු දායකය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාම් පවසන විට තුන්වරක් සලාම් පවසා සිටි අතර ප්රාර්ථනා කරන විට ද තුන්වරක් ප්රාර්ථනා කරන්නෙකු වූ බැවිණි. සාරාංශය වනුයේ සැබැවින්ම අම්ර් ඉබ්නු අල් ආස්ගේ පුතනුවන් ‘ස්වර්ගය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබට ශුභාරංචි දන්වා ඇති බව ඔහුට පවසා සිටීමය. මෙය යහපත ගැන වූ සුභාරංචි අතරින් මෙන්ම සැබ පැතුම් අතරින් වඩාත් උචිත කරුණකි.
අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අමු මිස්වාක් දැහැටියෙන් දත් පිරිසිදු කරමින් සිටියදී මම එතුමා වෙත පැමිණියෙමි.” හෙතෙම තවදුරටත්: “මිස්වාක් දැහැටියේ එක් කොණක් එතුමාගේ දිව මත විය. මිස්වාක් දැහැටිය කටේ තිබියදී එතුමා වමනය කරන්නාක් මෙන් අඃ අඃ යැයි පැවසීය.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අමු මිස්වාක් දැහැටියෙන් දත් පිරිසිදු කරමින් සිටියදී තමන් එතුමාණන් වෙත පැමිණි බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා මෙනෙහි කර සිටියේය. සැබැවින්ම එතුමාගේ පිරිසිදු කිරීම පූර්ණවත් පිරිසිදු කිරීමක් විය. එය මුඛය තුළින් කිසිවක් හැළී පීඩාවක් නොවනු පිණිසය. මිස්වාක් දැහැටිය එතුමාගේ දිව මත තබා කට පිරිසිදු කිරීමේදී වමනය කරන්නාක් මෙන් ගැඹුරින් කට කාරා සෝදා හැරියහ.
අම්මාර් ඉබ්නු යාසිර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “යම් අවශ්යතාවක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මා එව්වේය. එවිට මා ජුනුබ් තත්ත්වයට පත්ව සිටියෙමි. නමුත් මට ජලය ලැබුණේ නැත. පසුව මම සතුන් පෙරළෙන්නාක් මෙන් පිරිසිදු දූවිලි පසෙහි පෙරළුණෙමි. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ එතුමාට ඒ ගැන සඳහන් කළෙමි. එවිට එතුමා ‘ඔබේ අත් දෙකින් මෙසේ සිදු කිරීම ඔබට ප්රමාණවත් වන්නේය’ යැයි පවසා පසුව තමන්ගේ අත් දෙක පොළව මත එක් වරක් ගසා, පසුව වම් අතින් දකුණත ද එතුමාගේ අත් දෙකෙහි මතු පිට ද එතුමාගේ මුහුණ ද පිරිමැද්දාහ.
متفق عليهයම් අවශ්යතාවක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අම්මාර් ඉබ්නු යාසිර් (රළියල්ලාහු අන්හු) තුමාව යැව්වේය. එවිට ඔහු ජුනුබ් තත්ත්වයට පත් විය. එනම් සංසර්ගය හේතුවෙන් හෝ කාමුක හැඟීමෙන් ශුක්රාණු පිටවීම හෙතුවෙන් එවන් තත්ත්වයකට පත්විය. නමුත් ස්නානය කිරීම සඳහා ජලය ඔහුට නොලැබුණේය. ජනාබත් තත්ත්වයෙන් පිරිසිදු වීමේ තයම්මුම් නීතිය ඔහු දැන සිටියේ නැත. සැබැවින්ම හෙතෙම දැන සිටීයේ සුළු කිලිට්ටෙන් පිරිසිදු වීමේ ක්රමය පමණි. පසු ව ඔහු එහි නීතිය සොයන්නට උත්සාහ කළේය. සුළු කිලිට්ටෙන් මිදීමට වුළූ හි ඇතැම් අවයව පොළව මත ඇති පසින් පිරිමදින්නාක් මෙන් ජනාබත් හේතුවෙන් මුළු ශරීරයම පසින් ආවරණය කළ යුතු යැයි සිතුවේය. හෙතෙම එය ජලයට සැසඳුවේය. පසුව මුළු ශරීරයම ආවරණය වන පරිදි පස් මත පෙරළුණේය. පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණි කල්හි තමන් කළ දෑ නිවැරදි ද නැද්ද යන්න දැන ගැනීම සඳහා එතුමාණන්ට ඒ ගැන සඳහන් කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මූත්රා පිටවීම වැනි හේතුවකින් ඇති වන සුළු කිල්ලෙන් හා ජනාබත් වැනි හේතුවකින් ඇතිවන මහා කිල්ලෙන් පිරිසිදු වීමේ ක්රමය පැහැදිලි කළහ. එනම් තම අත් දෙක පොළව මත එක් වරක් ගසා, පසුව වම් අතින් දකුණත ද එතුමාගේ අත් දෙකෙහි මතු පිට ද එතුමාගේ මුහුණ ද පිරිමැද පෙන්වූහ.