





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සමීප වී විධිමත්ව කටයුතු කරනු. ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු ඔහුගේ ක්‍රියාවෙන් පමණක් ජය නො ලබන බව දැන ගනු." ඔවුහු අල්ලාහ්ගේ දූතයාණනි! ඔබත් එසේ නො වන්නෙහි?" යැයි විමසුවෝය. එතුමාණෝ: "අල්ලාහ්ගේ කරුණාව හා භාග්‍යය තුළින් ඔහු මා ආවරණය කිරීමෙන් මිස මම ද එසේ නොවෙමි" යැයි පැවසූහ.
متفق عليهකටයුතු විධිමත්ව ඉටු කරන මෙන් ද, අතිශයෝක්තියකින් හෝ අඩුපාට සිදු කිරීමකින් තොරව, තමන්ට හැකි පමණින් අල්ලාහ්ට බියවන මෙන් ද, තමන් කරන ක්‍රියාව අල්ලාහ් වෙනුවෙන් අවංකව පුදකිරීමේ හා නබි තුමාණන්ගේ සුන්නාව පිළිපැදීමේ අපේක්ෂාවෙන් ඉටු කරන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. කටයුතු පිළිගනු ලබන්නේ එවිටය. එමෙන්ම ඔවුන් වෙත කරුණාව පහළ වීමටත් එය හේතුවක් බවට පත්වනු ඇත. අනතුරුව, ඔබ අතරින් කිසිවකු හෝ ක්‍රියා සිදුකළ පමණින් අපා ගින්නෙන් මිදෙන්නේ නැති බවත්, ඒ සඳහා අල්ලාහ්ගේ කරුණාව ද අවශ්‍ය බවත් එතුමාණෝ ඔවුනට දන්වා සිටියහ. ඔවුහු, "අල්ලාහ්ගේ දූතයාණනි! ඉමහත් සේ ප්රයත්න දරමින් ඔබ කළ ඔබේ ක්‍රියාව පවා ඔබව ආරක්ෂා නො කරන්නේ ද?" යැයි විමසුවෝය. එවිට එතුමාණෝ, "මම පවා එලෙසම ය. නමුත් අල්ලාහ්ගේ කරුණාවේ භාග්‍යයෙන් ඔහු මා ආවරණය කරන්නේ නම් මිස." යැයි පැවසුහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මට පෙර සිටි සමූහයා අතරට තම සමූහයා අතරින් තමන්ගේ පිළිවෙත පිළිපදින තම නියෝගය අනුගමනය කරන සගයන් හා ගෝලයින් නොහිඳ අල්ලාහ් විසින් එවූ කිසිදු නබිවරයකු නොවීය. අනතුරුව ඔවුන්ගෙන් පසු බොහෝ කඩකිරීම් සිදුවිය. ඔවුන් සිදු නොකරන දෑ ඔවුහු පවසති. ඔවුනට නියෝග නොකරන ලද දෑ ඔවුහු සිදු කරති. කවරෙකු තම අතින් ඔවුන් වළක්වන්නට පරිශ්රමය යෙදුවේ ද ඔහු දේවත්වය විශ්වාස කරන්නෙකි. එමෙන්ම කවරෙකු තම හදවතින් ඔවුන් වළක්වන්නට පරිශ්රමය යෙදුවේ ද ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකි. තවත් කවරෙකු තම දිවෙන් (වචනයෙන්) ඔවුන් වළක්වන්නට පරිශ්රමය යෙදුවේද ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකි. ඉන් ඔබ්බට විශ්වාසයෙන් අබ ඇටයක් (තරම්) හෝ වෙනකක් නොමැත.
رواه مسلم'නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පෙර විසූ සමූහයා අතරින් කිසියම් හෝ නබිවරයකු හෝ වේවා, ඔහුගේ සමාජය තුළ පිවිතුරු, ඔහුට සහය ඵල කළ, කැපවීමෙන් කටයුතු කළ අවංක, ඔහුගෙන් පසු පරිපාලනය නිවැරදිව ක්‍රියාත්මක කරන, ඔහුගේ පිළිවෙත අනුගමනය කරන, ඔහුගේ නියෝග පිළිපදින පිරිසකින් තොරව අල්ලාහ් කිසිදු නබිවරයකු එව්වේ නැත,' යැයි එතුමාණෝ පැවසූහ. පසුව එම පුරෝගාමී දැහැමියන්ගෙන් පසුව යහපත නැති පිරිසක් පැමිණෙනු ඇත. තමන් සිදු නො කරන දෑ ඔවුහු පවසති. තමන්ට නියෝග නොකරන ලද දෑ ඔවුහු සිදු කරති. කවරෙකු තම අතින් ඔවුන් සමග වෙහෙස වන්නේ ද ඔහු දේවත්වය විශ්වාස කරන්නෙකි. එමෙන්ම කවරෙකු තම දිවෙන් ඔවුන් සමග වෙහෙස වන්නේ ද ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකි. තවත කවරෙකු තම හදවතින් (වචනයෙන්) ඔවුන් වළක්වන්නට පරිශ්රමය යෙදුවේද ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකි. ඉන් පසුව විශ්වාසයෙන් අබ ඇටයක් (තරම්) හෝ නොමැත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මට පෙර කිසිවෙකුට පිරි නො නැමූ කරුණු පහක් මට පිරිනමනු ලැබීය. මසක දුරක් ගමන් කරන තරමට (සතුරා තුළ මා ගැන) බිය ඇති කරවීමෙන් මම උදව් කරනු ලැබුවෙමි. මහපොළොව මුළුමණින්ම නමදින ස්ථානයක් ලෙස ද පිරිසිදු ස්ථානයක් ලෙස ද පත් කරන ලදී. එබැවින් මාගේ සමූහයා අතරින් කවර මිනිසෙකු හෝ වේවා සලාතයේ වේලාව ළඟා වූ විට ඔහු සලාතය ඉටු කළ යුතුයි. සතුරා විසින් යුධ බිමේ දමා යන වස්තුව මට අනුමත කරන ලදී. මට පෙර කිසිවකුට එය අනුමත කර තිබුණේ නැත. තවද මැදිහත්වීම ද මට පිරිනමන ලදී. නබිවරු තම ප්‍රජාවට පමණක් සුවිශේෂී වූ අතර මම මුළු මිනිස් සංහතියටම පොදුවේ එවන ලද්දෙමි.”
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට පෙර කිසිවෙකුට පිරි නො නැමූ කරුණු පහක් අල්ලාහ් ඔහුට පිරිනමා ඇති බව දන්වා සිටියහ. පළමුවැන්න: මා හා මාගේ සතුරන් අතර මසක දුරක් ගමන් කරන තරම් දුරක් පැවතුණ ද ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කරවීමෙන් මම උදව් කරනු ලැබුවෙමි. දෙවැන්න: අප කොතැනක සිටිය ද මහපොළොවම නමදින ස්ථානයක් බවටත්, ජලය ලබන්නට අපොහොසත් වන අවස්ථාවක පස් භාවිත කරමින් පිරිසිදු කළ හැකි ස්ථානයක් බවටත් එය පත් කරන ලදී. තුන්වැන්න: සතුරා විසින් යුධ බිමේ දමා යන වස්තුව මට අනුමත කරන ලදී. එනම් යුධ බිමේ දී සතුරන් විසින් ඔවුන්ගේ වස්තුව අත් හැර දමා පළා ගිය විටෙක මුස්ලිම්වරුන් විසින් අත්පත් කර ගන්නා දෑය. සිව්වැනුව: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ භීෂණයෙන් මිනිසුන් මුදවා ගැනීම සඳහා මා විසින් සිදු කරන ඉමහත් මැදිහත්වීම ද මට පිරිනමන ලදී. පස්වනුව: පොදුවේ මිනිස් හා ජින් යන මුළු සංහතියටම මා දේව දූතයකු ලෙස එවනු ලැබුවෙමි. එය මට පෙර වූ නබිවරුන් හට දෙනු ලැබූවක් නොවීය. ඔවුහු තම ප්‍රජාව වෙත පමණක් එවනු ලැබූවෝ වූහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් හාරිසා ඉබ්නු වහබ් අල්-කුසාඊ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ස්වර්ගවාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? දුර්වල හා දුර්වල කරන ලැබූ සෑම කෙනෙකුමය. එවැන්නෙකු අල්ලාහ් මත දිවුරා සිටියේ නම් ඔහු ඔහුට උපකාර කරනු ඇත. නිරා වාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? අහංකාර උද්දච්ඡ උඩඟුකම් පාන සෑම කෙනෙකුමය.”
متفق عليهස්වර්ගවාසීන් හා අපාවාසීන්ගේ ඇතැම් ගුණාංග පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා ඇත. ස්වර්ගවාසීන් අතරින් බහුතරයක් දෙනා වනාහි, අල්ලාහ් වෙනුවෙන් නිහතමානීව කටයුතු කරන සෑම නිහතමානී කෙනෙකුමය. එනම්, අල්ලාහ්ට යටහත් වී, නිහතමානීව කටයුතු කරන, ඔහු වෙනුවෙන් තමන්ව පහත් කරන අය වෙති. එය කෙතරම්ද යත් ඇතැම් මිනිසුන් ඔහු දුර්වලයකු සේ සලකති. ඔහුව අවමානයෙන් බලති. එවැන්නෙකු අල්ලාහ්ගේ උපකාරය සම්බන්ධයෙන් ඔහු මත කැමැත්තෙන් දිවුරා සිටියේ නම්, ඔහු ඔහුට උපකාර කරනු ඇත. ඔහු කවර කරුණක් සම්බන්ධයෙන් දිවුරා සිටියේ ද එය ඔහුට සහතික කරනු ඇත. ඔහුගේ ඉල්ලීම හා ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ඇත. අපා ගින්නේ බහුතරයක් දෙනා වනාහි: ඔවුන් 'උත්ලුන්' උද්දච්ඡකම ඇති අය වෙති. ඔහු රළු, දරුණු, දැඩි සේ රණ්ඩු සරුවල් හෝ දූෂිතකම් කරන යහපතට නොනැමෙන අයකි. එමෙන්ම 'ජව්වාල්' යන අහංකාරය ඇති අයෙකි. ඔහු අධික ලෙස අනුභව කරන, විශාල ශරීරයක් ඇති, ඔහුගේ ඇවිදීමේදී අහංකාරකම පෙන්වන, නරක ගුණාංග ඇති අයකි. 'මුස්තක්බර්' උඩඟුකම ඇති අයෙකි. ඔහු සත්‍යය ප්‍රතික්ෂේප කරමින් සහ අන්‍යයන් අවමානයෙන් බලමින් උඩඟුව කටයුතු කරන අයකි.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "සැබැවින්ම ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත. එය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇත. තරාතිරම් දෙකක් අතර ප්‍රමාණය අහස හා පොළව අතර වූ ප්‍රමාණය මෙනි."
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඅල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන්ගේ මහිමය පිළිබඳ මෙම හදීසයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා ඇත. එමෙන්ම ඔවුන් වෙනුවෙන් ස්වර්ගයේ තරාතිරම් සියයක් සූදානම් කර ඇති බවත් තරාතිරම් දෙකක ප්‍රමාණය අහස හා පොළව අතර තරම් වූ ප්‍රමාණයක් බවත් තවදුරටත් දන්වා ඇත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: “මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස මම වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදිම මම ඔහු සමග වෙමි. එසේ ඔහු, ඔහු තුළ මා ගැන මෙනෙහි කළේ නම් මම මා තුළ ඔහු ගැන මෙනෙහි කරමි. ඔහු මා යම් පිරිසක් මධ්‍යයේ මෙනෙහි කළේ නම් ඊට වඩා යහපත් ලෙස මම ඔහු ගැන පිරිසක් මධ්‍යයේ මෙනෙහි කරමි. මා වෙත ඔහු වියතක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහුවක දුරක් සමීප වෙමි. කවරෙකු මා වෙත බාහුවක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහු දෙකක දුරක් සමීප වෙමි. ඔහු පා ගමනින් මා වෙත පැමිණියේ නම්, මම ඔහු වෙත වේගයෙන් දුව පැමිණෙමි”
متفق عليهහදීසුල් කුද්සි හෙවත් දිව්‍යමය ප්‍රකාශ ඇතුළත් නබි වදනක අල්ලාහ් ප්‍රකාශ කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ. මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි හමුවේ මම සිටිමි. මාගේ ගැත්තා මා ගැන සිතන පරිදි මමද ඔහු සමග කටයුතු කරමි. එය යහපත් බලාපොරොත්තු දෙමින් හා සමාව දානය කරමිනි. මා ගැන ඔහු තුළ ක්‍රියා කරන යහපත හෝ වෙනත් යමක් හෝ වේවා ඒ අයුරින්ම මම ඔහු සමග කටයුතු කරමි. ඔහු මා මෙනෙහි කරන විටදී, ඔහු සමග කරුණාවෙන්, ඔහුට ආශිර්වාද කරමින්, යහමග පෙන්වමින්, ඔහු ගැන සැළකිලිමත් වෙමින්, ඔහුව ශක්තිමත් කරමින් මම ඔහු සමග සිටිමි. තනිව හුදෙකලාවෙහි ඔහු මා සුවිශුද්ධ කරමින්, දේවත්වය මටම පුදමින් හා වෙනත් ගුණගායනා තුළින් මා ගැන ඔහු තුළ ඔහු මෙනෙහි කළේ නම්, මම මා තුළ ඔහු ගැන මෙනෙහි කරමි. ඔහු මා යම් පිරිසක් මධ්‍යයේ මෙනෙහි කළේ නම්, ඊට වඩා යහපත් විශාල පිරිසක් මධ්‍යයේ මම ඔහු ගැන මෙනෙහි කරමි. කවරෙකු අල්ලාහ් වෙත වියතක දුරක් සමීප වන්නේ ද අල්ලාහ් ඔහු වෙත බාහුවක දුරක් සමීප වනු ඇත. කවරෙකු ඔහු වෙත බාහුවක දුරක් සමීප වන්නේ ද ඔහු, ඔහු වෙත බාහු දෙකක දුරක් සමීප වනු ඇත. ඔහු අල්ලාහ් වෙත පා ගමනින් පැමිණියේ නම්, ඔහු වෙත ඔහු වේගයෙන් පැමිණෙනු ඇත. ගැත්තා තම පරමාධිපති වෙත ඔහුට අවනත වෙමින් හා ඔහුව පිළිගනිමින් ඔහු වෙත සමීප වූ විටෙක සැබැවින්ම උත්තරීතර පරමාධිපතියාණන් ඔහු වෙත වූ තම සමීපත්වය වැඩි කරනු ඇත. ඒ අනුව, ප්‍රතිඵල ඊට අදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටයි. දේවත්වය විශ්වාස කරන්නාගේ ගැතිභාවය තම පරමාධිපති වෙනුවෙන් සම්පූර්ණ වන සෑම අවස්ථාවකම උත්තරීතරයාණන් ඔහු වෙත සමීප වනු ඇත. අල්ලාහ්ගේ ත්‍යාගය ඔහුගේ කුසල, ගැත්තා කරන ක්‍රියාවට හා ඔහුගේ වෙහෙසට වඩා අධිකව පිරිනමනු ඇත. සැබැවින්ම එහි අවසානය නම්, සැබැවින්ම අල්ලාහ් පිරිනමන කුසල ක්‍රමයෙන් හා ප්‍රමාණයෙන් එම ක්‍රියාවට වඩා ඉහළින් පවතිනු ඇත. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා යහපත් සිතුවිලි ඇති කර ගනී. දැහැමි ක්‍රියාවන් ඉටු කරයි. අල්ලාහ් හමුවන තෙක්ම වෙහෙස වී අධිකව කටයුතු කරයි.
තල්හා ඉබ්නු උබෙයිදුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “නජ්ද් වැසියන් අතරින් හිසකෙස් අවුල් වුණු මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණියේය. ඔහුගේ රළු හඬට අපි සවන් දුනිමු. අල්ලාහ්ගේ දූතයාණන් වෙතට ඔහු ළඟා වන තුරුම ඔහු පවසන දේ අපට වැටහුණේ නැත. පසුව ඔහු ඉස්ලාමය ගැන විමසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: “දහවලේ හා රාත්‍රියේ පස්වේල සලාතය ඉටු කිරීම” යැයි පැවසූහ. ඔහු: 'ඒවා හැර වෙනත් දෑ මා වෙත පැවරෙන්නේ ද?' යැයි විමසීය. එතුමා: “නැත, නමුත් ඔබ අතිරේකව කරන දෑ හැර.” යැයි පැවසූහ. පසුව එතුමා නැවතත්: “රමළාන් මාසයේ උපවාසය රැකීම” යැයි පැවසූහ. ඔහු: 'ඒ හැර වෙනත් දෙයක් මා වෙත පැවරෙන්නේ ද?' යැයි විමසීය. එතුමා: “නැත නමුත් ඔබ අතිරේකව ඉටු කරන්නේ නම් මිස.” පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ඔහුට සකාතය පිළිබඳ මෙනෙහි කළහ. එවිට ද ඔහු 'ඒ හැර වෙනත් දෙයක් මා වෙත පැවරෙන්නේද?' යැයි විමසීය. එතුමා: “නැත, ඔබ අතිරේකව ඉටු කරන්නේ නම් මිස" යැයි පැවසූහ. පසුව එම මිනිසා ‘අල්ලාහ් මත දිවුරා පවසමි. මීට වඩා වැඩි යමක් මම නොකරමි. එමෙන්ම ඉන් කිසිවක් අඩු නොකරමි’ යැයි පවසමින් හැරී ගියේය. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඔහු සත්‍යය පවසා ඇත්නම් ඔහු ජය ලැබීය.” යැයි පැවසූහ.
متفق عليهනජ්ද් වාසීන් අතරින් හිසකෙස් අවුල් වුණු මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණියේය. ඔහුට රළු හඬක් විය. ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ළඟා වන තුරුම ඔහු පවසන දේ අපට වැටහුණේ නැත. පසුව ඔහු ඉස්ලාමයේ වගකීම් පිළිබඳ විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සලාතයෙන් ආරම්භ කළ අතර සෑම රාත්‍රියකම හා දහවලකම පස්වරක් සලාත් ඉටු කිරීම ඔහුට අල්ලාහ් අනිවාර්යය කර ඇතැයි ද ඔහුට දන්වා සිටියහ. "මේ වාර පහ හැර වෙනත් සලාතයන් මා වෙත පැවරෙන්නේ ද?" යැයි ඔහු විමසීය. එතුමාණෝ: “නැත, නමුත් ඔබ අතිරේකව කරන සලාතයන් හැර.” යැයි පැවසූහ. පසුව එතුමා නැවතත්: “ඔබට අල්ලාහ් අනිවාර්යය කළ තවත් කරුණක් වනුයේ රමළාන් මාසයේ උපවාසය රැකීම” යැයි පැවසූහ. එවිට එම මිනිසා: 'රමළාන් උපවාසය හැර වෙනත් උපවාසයක් මා වෙත පැවරෙන්නේ ද?' යැයි විමසීය. එතුමාණෝ: “නැත නමුත් ඔබ අතිරේකව ඉටු කරන්නේ නම් මිස.” යැයි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ඔහුට සකාතය පිළිබඳ මෙනෙහි කළහ. එවිට එම මිනිසා: "අනිවාර්යය සකාතයෙන් පසු වෙනත් දන්දීමක් මා වෙත පැවරෙන්නේද?" යැයි විමසීය. එතුමාණෝ: “නැත, අමතරව ඔබ ඉටු කරන්නේ නම් මිස" යැයි පැවසූහ. මෙම වගකීම් සම්බන්ධව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා දැනගත් පසු හෙතෙම හැරී ගොස්, මීට වඩා කිසිදු වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් හෝ නොකර තමන් එය පිළිපදින බවට අල්ලාහ් මත දිවුරා පවසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “එම මිනිසා දිවුරා සිටි පරිදි සත්‍යය පවසා ඇත්නම් සැබැවින්ම ඔහු ජයග්‍රාහකයින් අතරින් වනු ඇත.” යැයි පැවසූහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “හිරු උදාවන උතුම්ම දිනය ජුමුආ දිනයයි. ආදම් මවනු ලැබුවේ එහිය. ස්වර්ගයට ඇතුළත් කරනු ලැබුවේ ද එහිය. ඉන් බැහැර කරනු ලැබුවේ ද එහිය. අවසන් හෝරාව හට ගන්නේ ජුමුආ දිනක ය“
رواه مسلمහිරු උදාවන උතුම්ම දිනය ජුමුආ දිනය බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ. එදින සුවිශේෂී කරුණු නම්: සැබැවින්ම අල්ලාහ් එදින ආදම් (අලයිහිස් සලාම්) තුමාව මැව්වේය. ඔහුව එදින ස්වර්ගයට ඇතුළත් කළේය. එමෙන්ම එදින ඉන් බැහර කර මහපොළොවට යැව්වේය. ජුමුආ දිනයේ හැර අවසන් හෝරාව වෙනත් දිනක සිදු වන්නේ නැත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බලවත් තරබාරු මිනිසකු පැමිණෙයි. අල්ලාහ් අභියස කෝදුරුවෙකුගේ පියාපතක තරම්වත් ඔහුට වටිනාකමක් නොවනු ඇත.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙලොවෙහි අල්ලාහ්ගේ මැවීම්වලට වඩා ඉමහත් සේ පුෂ්ටිමත් ලෙස වැඩුණු, තම ක්‍රියාවෙන් හා වදනින් පුරසාරම් දොඩන අහංකාර බලවත් මිනිසෙකු වනාහි, සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් අබියස කෝදුරුවෙකුගේ පියාපතකට වඩා වටිනාකමක් ඔහුට නොවන්නේය. ඔහුට කිසිදු වටිනාකමක් හෝ තත්ත්වයක් හෝ නොවනු ඇත.